Sunday, October 28, 2012

විමල්ගෙ තුනයි දහතුනයි


 
දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය කියන යකා එලවන්න විමල් ඇමතිතුමා මහ තොයිලයක් නටනව නෙවැ මේ දවස්වල. මේ ගැන අපේ පත්තර මිත්‍රයෙක් පොඩි ඉන්ටර්වීව් එකක් කරන්න ඇමතිතුමාගෙ ගෙදරට ගිහිල්ල. ඒත් ඒ වෙලාවෙ ඇමතිතුමා එලියට ගිහින්. ඉතිං අපේ මිත්‍රයත් ඇමතිතුමා එනකන් ආර්‍යාව එක්ක පොඩි කදයක් දාගෙන ඉඳල.
මුලින් තියෙන්නෙ ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාව. දෙවනුව ආර්්‍යාව එක්ක දාපු කදේ.
ආ.. තව දෙයක්. ඔය පත්තර කාරයො යම් යම් දේවල් ලියාගන්න කොට පහසුවට වචන එහෙම කෙටි කරල ලියාගන්නවනේ. මෙයත් නිතර නිතර දහතුන ලියාගන්න එක කරදරයි කියල ..තුන කියල විතරයි ලියල තිබුනෙ. මාත් මේකෙ එහෙමම දානව. ඔයාල කියවනකොට ..තුන කියල තිබුනොත් ඒක දහතුන  කියල හිතාගෙන කියවන්න. නැත්කම් වෙන වෙන දේවල් හිතෙන්න පුළුවන.

විමල් ඇමතිතුමා හා කල සාකච්චාව
මම- ඇමතිතුමාට මොකද මේ හදිස්සියෙම ..තුන එපාඋනේ.
ඇමතිතුමා- අපෝ ඔය ..තුන කියන්නෙ  මහ භයානක දෙයක්.
මම- මොකක්ද ඔය ..තුනේ තියෙන භයානක කම
ඇමතිතුමා-ඕක ඉන්දියාව බලෙන් අපේ ඇ‍ඟේ එල්ලපු එකක්නේ.
මම-කවුරැ බලෙන් එල්ලුවත් ඒකෙන් අපට ප්‍රයෝජනයක් තියෙනවනම් ප්‍රශ්නයක් නෑනේ?
ඇමතිතුමා-කාටවත් ප්‍රයෝජන තිබිල වැඩක් නෑනේ. ප්‍රයෝජනයක් තියෙන්න ඕන අපට.
මම-මේකනේ ඇමතිතුමා,දැන්මේක ගෙනාවෙ සුළු ජාතීන්ගෙ ප්‍රශ්න විසඳන්න නේද?
ඇමතිතුමා- අපට ..තුනෙන් වැඩක් ගන්න බැරිනන් දෙමළුන්ටයි,මුස්ලිම්ලටයි ඒකෙන් ප්‍රයෝජන ගන්නකන් බලන්ඉන්න කියලද කියන්නෙ.
මම-ඉතිං ඒකම නේන්නන් ඇමතිතුමා වැරැද්ද. අපට ..තුනෙන් වැඩක් ගන්න බෑ කියල .. තුනෙන් වැඩක් ගන්න පුළුවන් අයට ඒකට ඉඩ දෙන්න එපායැ.
ඇමතිතුමා-සමාවෙන්න මම ටිකක් වැසිකිලියට ගිහින් එන්නද? මේ දවස්වල රට වටේම යන නිසා හරියට වැසිකිලියට යන්නවත් වෙලා නෑ.
මම-ආ එක තමයි මේ මිනිස්සු කථාවට හේතුව.
ඇමතිතුමා- මොකක්ද මොකක්ද මිනිස්සු කියන කථාව
මම- නෑ මේ මිනිස්සු කියන්නෙ ඔබ තුමා කට අරිනකොට වැසිකිලියක ගඳ දැනෙනව කියල.

*************************************************
මේ එතුමාගේ ආර්‍යාව හා දමාගෙන සිටි කදයයි.
මම- කොහොමද ඇමතිතුමිය
ශෂී-මම තාම ඇමතිතුමිය නෙවෙයි අනේ.
මම- ඔවුනේ මටත් අමතක උනා
මම- මොකද මේ ඇමතිතුමා ..තුන එපා කියන්නෙ.
ශෂී- ඔවු අනේ මේ දවස්වල එයාට ..තුන පේන්න බැහැනේ.
මම- ඉස්සර ඉඳලම එතුමට ඔය ..තුන ගැන ප්‍රශ්න තිබුනද?
ශෂී- ඔවු එයාට ඒ දවස්වල ඉඳලම ..තුනේ ප්‍රශ්න තිබුන.
 මම-ඒ උනාට එතුමා කලින් ..තුන එපා කියල මේ තරම් කෑ ගැහුවෙ නෑනේ. අර නැගෙනහිර පලාත්සභාවටත් ඉල්ලුවනේද?
ශෂී-එයා ඒ දවස්වල කෑ ගැහුවෙ නැත්තෙ එයාට ..තුන එපා උනාට මට එපා වෙලා තිබුනෙ නැති නිසානෙ අනෙ.
මම-ඒ කියන්නෙ ඔබ තුමිය ..තුනට කැමතියි.
ශෂී-නෑ. ඉස්සර නන් මම ..තුනට හුඟක් කැමැත්තෙන් හිටියෙ. ඒත් දැන් නෑ.
මම-ඒ මොකද ඒ?
ශෂී- ඒව ඉතිං මේ හැමෝටම කියන්න බෑ අනේ. පුද්ගලික දේවල්නේ.
මම- පුද්ගලික දේවල් වෙන්නෙ කොහොමද? දැන් ඒක ජාතික ප්‍රශ්නයක් වෙලානේ.
ශෂී- අපේ එක්කෙනා ඉස්සර ඉඳන්ම ඔහොම තමයි අනේ. ගෙදර  ප්‍රශ්න තමයි එයා ජාතික ප්‍රශ්න කරගන්නෙ.
මම-දැන් මොකද මේ හදිසියෙ එතුමට ..තුන එපා උනේ
ශෂී- ඔයා මේක කිටවත් කියන්නෙ නෑනේ.
මම-හරි හරි කියන්නකො ඉතිං.
ශෂී-ඔයාට මතකද අර දිවිනැගුම පනත පලාත් සභාවලින් සම්මත කරන් එන්න කියල අධිකරන තීන්දුව දුන්න දවස.
මම- ඔවු.
ශෂී-  එදා රෑ එයා ඇදට ඇවිල්ලත්  හරි හිතේ අමාරැවෙන් තමා හිටියෙ. මම කොච්චර කිව්වත් මගේ දිහා හැරිලවත් බැලුවෙ නෑනේ. ඉතිං මට එපාම උනා අනේ.
මම-මොකක්ද ..තුනද?
ශෂි- ඔවු අනේ.  මම කිව්ව වැඩක් නැත්නන් ඕක අයින් කරලම දාන්න කියල.
මම-ඉතිං
ශෂී-ඉතිං ඊට පස්සෙ තමා එයා ඔය ..තුන එපා,..තුන එපා කියල බෙරිහන් දිදී රට වටේ දුවන්න පටන් ගත්තෙ.

Thursday, October 25, 2012

මහින්දයි රනිලුයි හෙලුවෙන් නාපු හැටි



ජෝන් කොතලාවලයි බංඩාරනායකයි හෙලුවෙන් නාන්න ගිහින් අනාගත්තු හැටි ගැන හුඟදෙනෙක් අහල ඇතිනෙ. ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ඒක මතක්කරල දීලම අලුත් වර්ෂන් එක කියන්නන්.

ජෝනුයි බංඩයි ඔය කොහේදෝ කරක් ගහන අතරෙ පොකුනක හොඳ ලස්සනට වතුර පිරිල තියෙනව දැකල හිතුලු නාගන්න. ඒත් දෙන්නටම නාන ඇඳුම් තිබිල නෑ. වටා පිටාවෙ පේන්න කවුරැවත් හිටියෙත් නැති එකේ මොන ඇඳුම්ද කියල හිතල දෙන්නම ඇඳුම් ටික ගලවල දාල බැස්සලු පොකුනට.

දැන් දෙන්න හොඳට නාකියා ගෙන කාරිය ගොඩට ආව කියමුකො. ඒත් ඇදුම් අඳින්න පුලුවනෑ මේ තෙත පිටින්. දෙන්නම අව්වට වෙලා ඉන්නව ඇඟපත වේලෙනතුරැ. මෙන්න මේ වෙලාවෙ තමයි සන්තෑසිය වෙන්නෙ. එකපාරටම බවලැතියො ටිකක් මෙතනට කඩා පාත් වෙනව.

ජොන් ටක් ගාල අත් දෙකෙන් තමන්ගෙ උපාංග ටික වහගන්නව.

බංඩ කරන්නෙ තමන්ගෙ අත් දෙකෙන් මූන වහ ගත්තු එක.

දැන් මේ දේන්න දැකපු බවලැතියො ටික කොහොම පැනල දිව්ව  කියල අපි හිතමුකො. ජෝන්ට කැපිල්ලක් දාන්න හොඳ වෙලාව කියල හිතුන  බංඩ බොහෝම ආඩම්බරෙන් ජෝන්ට කියනවලු

ජෝන් ඔය උපාංග  හැම පිරිමියටම තියෙන්නෙ එකම ජාතිය තමා. ඒ උනාට ඒක කාගෙද කියල අදුන ගන්නෙ මූනෙන්



ඔන්න ඕකයි පරන කථාව. මෙන්න අලුත් කථාව.



මහින්දයි රනිලුයි සෙට් වෙච්ච වෙලාවක අරවගේම ලස්සනට වතුර පිරිල තිබ්බ ස්විමිං පූල් එකක් දැකල දෙන්නටම නාගන්න හිතිල.

රනිල් කොට කලිසමක් කාරීය ඇඳගෙන පූල් එකට බහින්නලු ලෑස්තිය.

ඔය ඇඳුම් ඇදගෙන නාගන්න එකේ කිසි ජොලියක් නෑ. ඔන්න ඕක ගලවල දාල බහිනව අයිසෙ මහින්ද ඇදුම් සේරම ගලවල ‍  පුල් එක ලඟට ඇවිල්ල රනිල්ට කියනවලු.

පිස්සුද, කවුරැවත් දැක්කොත් ඉඳල ඉවරයි රනිල් කලිසම පිටින්ම පූල් එකට බැස්සලු.

බය ගුල්ලකියල රනිල්ට කෝචොක් එකක් දාගෙනම මහින්දත් සිවිල් පිටම පුල් එකට බැස්සලු.

කොහොම උනත් මේ කථාවෙත් සීන් එක වෙන්නෙ දෙන්න ‍නාගෙන ගොඩට ඇවිත් ඇඟවේලෙනකන් ඉන්න අතර තමා. මිනිස්සු රොත්තක් එනව මුලින්ම දැක්කෙ රනිල්.

මොකක් හරි ඇඳගන්නව.අර  මිනිස්සු ඕක දැක්කොත් බඩ කපාගන්න තමයි වෙන්නෙ රනිල් මහින්දගෙ කනට කරල කිව්වෙ අතින් මිනිස්සුන්ව පෙන්නන ගමන්.

මම ඔය කවුරැවත් දකිවි කියල මගේ ඒව වහගන්න මිනිහෙක් නෙවේ රනිල්කලබල නැතුව කියපු මහින්ද

බලනවකෝ වෙන්නෙ මොකක්ද කියල ඔලුවෙන් රනිල්ට මිනිස්සු හිටිය පැත්ත පෙන්නුවලු.

එක පාරටම කොහෙන්දෝ පාත් වෙච්ච කීපදෙනෙක් අර  ආපු මිනිස්සු‍න්ගෙ ඇස් වහන්න පටන් ගත්ත.

එදා ජෝන් කොතලාවල කලේ හෙලුව අතින් වහගන්න හදන එක. බංඩාරනායක අතින් මූන වහගෙන හැංගෙන්නයි බැලුවෙ. ඒ උනාට මම කරන්නෙ මිනිස්සුනගෙ ඇස් වහන එකමහින්ද රනිල්ට තමන්ගෙ වැඩ  ගැන පැහැදිලි කලා. 

එතකොට කවුද මහින්ද ඒ කට්ටිය තවමත් මොකද වෙන්නෙ කියල හිතාගන්වත් බැරැව හිටපු රනිල් ඇහුව.

ආ ඒ මහින්ද  අබේසුන්දරල, හඩ්සන් සමරසිංහල,කරැනාදාස සූරිආරච්චිල කටිටියනේ

ඕකුන් ඉන්නකං මට හෙලුවෙන් උනත් මහපාරෙ යන්න පුළුවන්මහින්ද කිව්වෙ බොහෝම සැහැල්ලුවෙන්.

Monday, October 22, 2012

අපි ඉන්නෙ යෝධ සජීවී වෙළඳ දැන්වීමක් ඇතුලෙ



අනුරාධපුර සමාධි ප්‍රථිමාව හා නෙළුම් පොකුණ
මේ අනුරාධපුර ශිෂ්ඨාචාරයතුල බිහිවුනු විශිෂ්ඨ නිර්මාන. තාක්ෂනය, යෙදවුම් පිලිබදව නිෂ්චිත කරැනු හෙලිදරව් නොවුනත් ඉන්දියානු මහා සම්පුදායට වඩා අනන්‍යයතාවයක් පෙන්නුම් කරන දේශීය නිර්මාන බවට විද්වතුන් අදහස් දක්වා තිබේ.

රම්බඩගල්ල සමාධි ප්‍රථිමාව හා නෙළුම් පොකුණ රඟහල
 මෙහි පලමුවැන්න දැනට ඉදිවෙමින් පවතින ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රථිමාවයි. දෙවැන්න මෑතකදී ඉදිවූ ලංකාවේ විශාලතම රඟහලයි.
මේ සමාධි ප්‍රථිමාවේ ඉදිකිරීම් හා තාක්ෂනය ඉන්දියානුවන්ගෙන් වන අතර මූල්‍යය දායකත්වයද ඉන්දියාව ඇතුලු දේශීය විදේශීය දානපතියන්ගෙනි.
රඟහලෙහි ඉදිකිරීම් හා තාක්ෂනය චීන ජාතිකයන්ගෙන් වූ අතර මූල්‍යය දායකත්වය සම්පූර්නයෙන් දරනු ලැබුවේ චීන රජය විසිනි.
**************************************************

අපේ රටේ මේ මොහොතේ පවතින දේශපාලනය කියවීම අතිශය සංකීර්නය. මට මේ සටහන ලිවීමට සිත්වූයේද එවැනි බරසාර ලිපියක් කම්මැලිකමින් කියවමින් සිටියදීය.

ආර්ථිකය පිලිබද මේ ආංඬුවේ ප්‍රථිපත්ති ගැන සමහරැන්ට තිබුනු කුකුස මේ වන විට දුරැව ඇතැයි සිතමි.ජේ.ආර්. විසින් ගෝලීයකරනයට විවෘත කල මේ රට හොඳ හෝ නරක වේවා පවතින තත්වයන් යටතේ කිසිසේත්ම මග ‍හැරිය නොහැකි තත්වයකි.

අනික් අතට රටේ පවතින මතවාදී දේශපාලනය ගත්විට  එය ජාතිවාදී, ආගම්වාදී , වැඩවසම් හරපද්දතින් ගැන උදම් අනන ජාතික වාදී දේශපාලනයකි.
බොහෝ දෙනෙකුට ඇති ගැටලුව මේ දෙකට එතට පවතින්නේ කෙසේද යන්නයි. රටේ සම්පත්, ශ්‍රමය ‍ලෝකය සමග බාදාවක් නැතුවම හුවමාරැ වෙයි. අනික් අතට රටේ ගහක් ගලක් ගානෙ බුදු පිලිම, වෙහෙර විහාර ඉදිකෙරෙමින් පවතියි. ගෝලීයකරනය තුල අපට ලැබුනු අන්තර්ජාලය පවා මේ රටේ පාවිචිචි කරනුයේ ජාතිවාදය වැපිරීම සඳහායි.

මට හිතෙන්නෙ මේ පින්තූර වචන දාහකට වඩා දේ අපට කියන බවයි.

හිතන්න අපි ‍හැමෝම ඉන්නෙ  යෝධ සජීවී වෙළඳ දැන්වීමක් ඇතුලෙයි කියල.

ප/ලි
චීනෙන් සල්ලි ණයට අරගෙන චීන තාක්ෂනයෙන් කක්ෂගතකල චන්ද්‍රකාව අපේ වෙන්නෙ අපේ දරැවන්ට ගෙවන්න වෙන ණයත්, ඒ ණය ගැන ආඩම්බර වෙන්න උගනන්න වෙළඳ දැන්වීම් ගොඩකුත් විතරක් නිසා නෙමේයිද?



Tuesday, October 16, 2012

විදුහල්පති කර්නල්වරැ සහ ළමා සෝල්දාදුවෝ රඟන ටෙලිය


රැකියාව අතහැර දමා අප්ප කඩයක් දමා ගැනීම හොඳයැයි මට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඉවසීම නැතිවූ මොහොතක මම මේ පිලිබඳව මිතුරෙකු හා පැවසීමි.
ආප්ප කඩයක් දාන්න උනත් දැනගෙන ඉන්න ඕන. උඹ මොනවද ආප්ප හැදීම ගැනයි, වෙළදාම ගැනයි දන්නෙ
ප්‍රමිතිය, පාරිභෝගික ආඥා පනත ආදී ඔහු පැවසූ බරපතල වචන ඇසූ මම නොදන්න දේ කිරීමට ගොස් වරිගය නසා නොගන්නට තීරනය කලෙමි.
***********************************************

 දින කීපයකම රෑපවාහිනියේ විකාශනය වූ ටෙලිනාට්‍යය දුටු මට,මා වැනි නිකමෙකුට වුවද, නොදැන කල හැකි  ඉතාම ලාභදායක ව්‍යාපාරය ටෙලිනාට්‍යය නිෂ්පාදනය බව පෙනී ගියේය.  මම වහා මේ ගැන මවිපියන්ට පැවසුවෙමි.
වැදගත් මිනිහෙක් කරන වැඩක්ද උඹ ඔය කරන්න හදන්නෙ. උඹ මේ වගේ අපරාධකරයෙක් වෙන බව දන්නවනම් පොඩි කාලෙම කානුවකට විසිකරල දානව පියා මහ හඬින් මට බැන වදින්නට විය.
මේ නාකි අපට සැනසීමෙ මැරෙන්නවත් ඉඩ දීපන්. ඔය වගේ වැඩ කරන එවුන්ගෙ අම්ම අප්පටයි මිනිස්සු දොස් කියන්නෙ මව හඬා වැටෙමින් කීවේය.

මෙම විරෝධය නිසා මා විසින් ලියාගෙන යන මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීමට තව වසර කීපයක් ගතවිය හැකිය. මෙහි අඩුපාඩු සහ ගුන දොස් දැන ගැනීමට මෙහි පල කරන්නෙමි.
**********************************************
තවම මෙම ටෙලියට තවම නමක් යොදා නැත
1 දර්ශනය
උදෑසන / නිවසක ඇතුලත (නිෂ්පාදකවරයාගේ නිවස මේ සඳහා වඩා සුදුසුය)
චරිත
මව- ඒ වනවිට පාර්ලිමේන්තුවේ සිටින නිලියන් (ටෙලි කම්කරැ නායිකාවන්) සියගානක්   අතරින් ජනාධිපතිතුමාට සමීපම කෙනෙකු තෝරා ගත යුතුය
පියා- ඉහත මවගේ චරිතයට තෝරා ගත් නිලියගේ ඉතාම සමීපතමයා මේ සදහා සුදුසුය
ළමයා- ටෙලිය නිෂ්පාදනය කරන අයගේ පුතා මේ සඳහා සුදුසුය(මෙම තෝරා ගන්නා අයට කථා කිරීමට,සිනාසීමට,හැඬීමට සහ ඇවිදීමට පුලුවන් විය යුතුයි.)
දර්ශනය
මව තම පුතු පාසල් යැවීමට සූදානම් කරවයි. හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින දරැවාට මව බූට් සපත්තු පලඳවයි. පියා හමුදා කැප් තොප්පියක් රැගෙන දරැවා අසලට පැමිනේ.
පියා-පුතා මේ කැප් එකත් දා ගන්නකො.
මව- ඉන්නකො මම පුතාගෙ කෑම එකත් අරගෙන එන්න.(ඇය ගොස් කෑම පාර්සලයක් රැගෙන විත් දරැවාගේ පාසල් බෑගයට දමයි.)
මව- කෝ මේ  ලමය පොත් ටිකවත් බෑග් එකට දාගෙන නෑනේ.(පොත් ටික රැගෙන බෑගයට ඔබයි)
පියා-හ්ම් යන් යන් මට පරක්කු වෙනව
ළමයා- යන්නන් අම්මෙ.(ළමයා හමුදා අචාරයක් දමා පසුව මව සිපගනී
යන් තාත්තෙ( ඔහු පියා පසුපස දොර දෙසට යයි)
ළමයා- ආ.. තාත්තෙ තුවක්කුව ගන්න බැරි උනානෙ
පියා- හරි හරි අද ඕක ඕන නෑ.
ළමයා-  (ඔහු තම පොත් බෑගය ගෙන අවුස්සා බලා පිස්තෝලයක් අතට ගෙන බලා නැවත බෑගයට ඔබා ගනී)
හරි.. හරි.. පිස්ටල් එක තියෙනවනේ.
(පියා හා පුතා නිවසෙන් පිටවෙයි.)

2 දර්ශනය
දිවා/ඇතුලත/පාසලක පංතිකාමරයක්
චරිත
ගුරැවරයා- මේ සඳහා ජැක්සන් ඇන්තනි සුදුසුය. ඔහු ජීවතුන් අතර නොසිටීනම් පමනක්  වෙනකකු මේ සදහා යොදා ගත යුතුයි
ළමයින් තිහක් හෝ හතලිහක්( මේ සඳහා රෑපවාහිනී නාලිකා සමග ගිවිසුම් ඇතිකර ගත් ලමයින් යොදා ගැනීමෙන් පිරිවැය අවම කර ගත හැක)
දර්ශනය
ගුරැවරයා සහ ලමයින් සියලු දෙනා සම්පූර්න හමුදා නිළ ඇදුම්න් සැරසී සිටී. ගුරැවරයා පංති කාමරයට ඇතුලුවේ.
ළමුන්- (පාදයක් බිම ගසා අත ඉහලට ඔසවා හමුදා ආචාරය පවත්වමින්)
සුභ උදැසනක් සර්
ගුරැවරයා-   සුභ උදැසනක් ළමා සොල්දාදුවනේ
( ගුරැවරයාද ලමුන්ට ආචාර කරයි)
ගුරැවරයා- අද ‍තියෙන්නෙ දෙවරක් චක්කරේ ඉගෙන ගන්න එක. හොඳයි ලියා ගන්න.දෙවරක් දෙක හතරයි.දෙවරක් තුන හයයි. දෙවරක් හතර අටයි,,,,,,,,,,,,,,,,,,,,,,,
( ගුරැවරයා කියවන අතර ලමුන් මෙය සටහන් කර ගනියි)

එක් ලමයෙක් මේ කිසිවක් නොතේරෙන බව අඟවමින් ගුරැවරයා දෙස බලා අතක් ඉහලට ඔසවයි.
ගුරැවරයා- ඔවු මොකද
ළමයා-   දෙකයි දෙකයි හතර වෙන්නෙ කොහොමද? (සිට ගනිමින්)
ගුරැවරයා- හොඳ සොල්දාදුවෙක් කිසි වෙලාවක කොහොද,මොකද කියල අහන්නෙ නෑ. කියන දේ අහන එකයි, අහන දේ කරන එකයි  විතරයි සොල්දාදුවගෙ ඩියුටිය.
(ගුරැවරයා රවා බලා දැඩි හඬින් කෑ ගසයි)
හ්ම් දැන් ගිහින් ගහනව ඩිප්ස් සීයක්.

ප/ලි
දැනට ලියා ඇත්තේ මෙපමනකි. තව අවුරැදු පහකින් පමන ඔබට මේ ටෙලි නාට්‍යය ඉතිරි කොටස් ද සමග  දැකිය හැකිවනු ඇත.

Saturday, October 13, 2012

ජාතියෙන් ඉවත්වෙන්න ක්‍රමයක් දන්නවාද?


මට පොඩි උදව්වක් කරපං මචං ආගිය කථා විමසීමෙන් පසු ඔහු මගෙන් ඉල්ලා සිටියේ වට පිට විමසිල්ලෙන් බලා හඬ මදක් බාල කර ගනිමිනි.

මොකක්ද බං. පුළුවන් දෙයක්නම් උඹ වගේ කෙනෙකුට  නොකර ඉන්නෙ නැති බව දන්නවනේ

අපේ ගමේම ,පිලිගත් පවුලක අයකු වූ ඔහු ගැන මම කුඩාකල සිටම දැනසිටියෙමි. හොඳින් ඉගෙනගෙන යහපත් රැකියාවක නිරත වූ ඔහු තවමත් අවිවාහක වුවද ගමේ රටේ ආගමික සමාජීය ඕනෑම පොදු කටයුත්තකදීද පෙරමුන ගත්තෙකි. ඍජුව දේශපාලන පක්ෂයක් හා සම්බන්ඳ නොවූවද දේශපාලනය හා රට ගැන ඉතා උනන්දුවකින් කටයුතු කලේය. උතුරේ පැවති යුද්ධය පිලිබඳ කම්පාවට පත්ව හමුදාවට බැඳීමට පවා සූදානම් වූවත් එය වැලකී ගියේ පවුලේ එකම දරැවා වූ ඔහුගේ දෙමාපියන්ගේ බලවත් පෙරැත්ත කිරීම නිසාමය.

මම ආගමෙන් අයින් උනා මචං

ආගමෙන් අයින් උනා. ඒ මොකද බං ඒ. උඹ පොඩි කාලෙ ඉඳලම උදේ හවස පන්සලේම හිටිය මිනිහනේමම පුදුමයෙන් ඇසුවේ මොහුට මේ සිදුව ඇති විපර්‍යාසය කුමක්දැසි සිතාගත නොහැකිවය.

ධර්මය තියෙන්නෙ පොත්වලයි, වචනවලයි විතරයි කියලනම් මම කලින් ඉඳලම දැනගෙන හිටිය ඔහු කලකිරීමෙන් පැවසීය.

ඒත් දැන් වෙන වැඩවලට කොහොමද බං බෞද්ධයෙක් කියල ලැජ්ජ නැතුව කියන්නෙ

හරි ඉතිං මිනිහෙකුට ආගමක්නං නැතුවට කමක් නැහැ තමයි

එතකොට මොකක්ද උඹට මගෙන් උදව්වක් ඕන කිව්වෙ මම ඇසුවේ එවැනි බරපතල කථාවලින් ඇඟ රිද්දා ගැනීමට ඇති අකමැත්තෙනි.

ජාතියෙන් අයින්වෙන්න ක්‍රමයක් එහෙම උඹ දන්නවනම් කියාපංකො?



ප/ලි

යාලුව විතරක් නෙවේ මමත් ඒකට උත්තරයක් දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

Thursday, October 11, 2012

මඩ සෝදා ගන්නට හදන ගොවි රජා


ඉඩක් ලැබුනු විට කොහේ  හෝ දුර ඈතක කරක් ගැසීම මගේ පුරැද්දකි. ලඟදී දිනෙක හම්බන්තොට ප්‍රදේශයේ  කල සංචාරයකදී ඈත ගොවි ගම්මානයකට යෑමේ අවස්ථාව මට ලැබුනි. එහිදී මට මැදිවියේ පසුවන ගොවියකු මුන ගැසුනි. වාස දේස කථා බහෙන් දැන ගත හැකි වූයේ ඔහු විශ්‍රමික බවයි.

"ඇයි විශ්‍රම ගත්ත කියන්නෙ. ලෙඩක් දුකක් එහෙම තියෙනවද?

දෙයියනේ කියල තවම ලෙඩක් දුකක්නම් නෑ මහත්තයො. ඒත් තියෙන ඉඩං කෑල්ලෙන් පවුල් තුන හතරකට ජීවත් වෙන්න පුළුවනෑ. කොල්ලො දෙන්නට ඒක බෙදල දීල දැම්ම. උනුත් දරැ පවුල් කාරයො නෙවැ

එතකොට කොහොමද දැන් ජීවත්වෙන්නෙ

ඒක තමයි මහත්තයො මමත් මේ කල්පනා කරන්නෙ ඔහුගේ මෙතෙක් කථාකල සැහැල්ලු විලාශය වෙනස්ව කල්පනා සහගත ලෙස කීවේය.

පැන්ෂන් එකක් දෙනව කියල ආන්ඩුවෙට සැරින් සැරේ සල්ලි ගෙව්ව. ඒත් ඒක ලැබෙන්නෙත් යලට මහට.  එහේට මෙහාට දුවන්න ගියාම ගන්න තුටිටු දෙකෙනුත් වැඩක් නෑ

මාසෙකට කීයක් හම්බ වෙනවද?

රැපියල් 2100 යි මහත්තයො

ඉතිං 2100 කියන්නෙ දවසට රැපියල් 70 නෙ. ඉතිං දෙන්නෙකුට ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්ද?  මම ඇසුවේ වැරදි ප්‍රශ්නයක් බව වැටහුනේ ඔහු මෙයින් බලවත් සේ කැලඹී ඇති බව පෙනී ගිය පෙනී ගිය බැවිනි. 

මහත්තයො මම අවුරැදු 50 කලේ ඔය ගොවිතැන. හොරකන් කරල නෑ. මංකොල්ල කාල නෑ. මිනී මරල නෑ. පාදඩකන් කරල නෑ. දරැවො හතර දෙනෙකුට කන්න අඳින්න දීල ඇස් පාදල පුලුවන් හැටියට දීගතල දුන්‍ නෙත් ඔය ගොයිතැනෙන් තමයි . අදටත් මගේ අතපය හතර හයියයි. ගොවිතැනක් බතක් කර ගන්න. ඒත් කෙහේද ගොවිතැන් කරන්නෙ. නැත්නන් ඔය තුට්ටු දෙකක් ගන්න ඔය එක එකා පස්සෙ යන්නෙ නෑ මහත්තයො 

මම තීරනයක් අරං ඉන්නෙ මහත්තයො” මදක් හතිලෑ ඔහු නැවත කීවේය.

ඒ මොකක්ද?

මම හොරකන් කරන්න පටන් ගන්නයි හිතන් ඉන්නෙ

ජීවත් වෙන එකනම් ටිකක් අමාරැ තමයි. ඒත් ඔය වැඩ ඒ තරන් හොද වැඩ නෙවේනෙද?” මම කීවේ කුමක් නියන්නදැයි සිතා ගත නොහැකිවයි.

නෑ මහත්තයො. වැඩේ හරිගියොත් කරදරයක් නැතුව ජීවත් වෙන්න බැරියැ

හොදයි වැරදුනොත්

වැරදුනත් මීට වඩා නරකක්  වෙන්නනෙ නෑ මහත්තයො බොහෝ සැහැල්ලුවෙන් පැවසූ ඔහු නිවෙස තුලට ගොස් පුවත් පතක් ගෙන ගෙන මා දෙසට පෑවේය.

සිරකරැවෙකුට දවසට රැපියල් 230 ක් රජයෙන් වියදමි කරයි එහි සඳහන්ව තිබින.


Monday, October 8, 2012

මංජුල තිලකරත්න මහතා සහ මගීන්


කෙනෙකුගේ කථා බහ අනුව ඔහු කුමනාකාර පුද්ගලයෙකුදැයි කීමේ අපූරැ හැකියාවක් ඇති මගේ මිත්‍රයෙකු සිටී. ඊයේ උදෑසන බස් නැවතුමේදී මේ මිතුයා මට හමුවිය.

බස් නැවතුමේ සිටි තවත්  මගීන් කීප දෙනෙකුගේ  කථා බහත්,ඔවුන් පිලිඳව මාගේ මිත්‍රයාගේ අදහසත් මෙසේය.

1 මගියා
මංජුල තිලකරත්නට පහර දීල තියෙන්නෙ දරැවයි නෝනයි ඉස්කෝලෙට ඇරලවල එද්දි නේ පලමු මගියා සිද්ධිය සිද්දිය අසින් දැක්කාක් මෙන් විස්තර කරයි.
මිනිහ මාධ්‍යයවේදියෙක් මිත්‍රයා මගේ කනට කර රහසින් පැවසුවේය.
ඇයි එහෙම කියන්නෙ
පේන්නෙ නැද්ද බං, අරලිය ගහ මංදිරේ මාසික මාධ්‍යයවේදීන්ගෙ හමුවෙදි ජනාධිපතිතුමාට මූනදේන්නෙ කොහොමද කියල හිත හිතා වගේ අපක්ෂපාතීව මේක කියන්න තටමන තැටමිල්ල

2 මගියා
ඔන්න ආංඩුව අධිකරනයට සලකන හැටි. මේක බරපතල තත්වයක්දෙවැන්නාද කථාවට සම්බන්ඳ වෙයි.
මිනිහ රනිල්ගෙ යූ.එන්.පී. යෙ.මිත්‍රයා නැවත කීවේය.
ඒ කොහොමද
ජේ.ආර්. මාමගෙ ක්‍රමේ. යුතුකමට ප්‍රකාශයක් කරල අර එලුවගෙ මොකක්ද එක වැටෙනකන් බලා ඉන්න නරිය වගේ අල්ලගෙන ඉන්න විතරයි  ඕන

3 මගියා
මේ වෙලාවෙ මේ වගේ වැඩක් කරන්න තරන් ආංඩුවට පිස්සු නෑ මේ තුන්වැන්නාය.
මිනිහනන් අඳුන ගන්න ඒ තරන් අමාරැ නෑ. ශ්‍රී.ලංකා කාරයෙක් මගේ මිත්‍රයා කියයි.

4 මගියා
ඔන්න බලන්න. මේ ආංඬුව අධිකරනයත් විනාසකරල දාන්න හදන්නෙ. හතර වැන්නා ඇස් ලොකුකර ගනිමින් ආවේගශීලීලෙස පවසයි.
මිනිහ සජිත්ගෙ යූ.එන්.පියෙ.ඔය යක්කු හිතන්නෙ උගුර යට්න් සද්දෙට කෑ ගහන එකා තමයි වැඩකාරය කියල මිතුයා ඔහු ගැන පැහැදිලි කරයි.

5 මගිය
මේක මේ ආංඬුව අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රනයක්
ඒ විමල් වීරවංශගෙ මිනිහෙක්

6 මගිය
ආංඩුවෙ වැඩක්
මිනිහ ජේ.වී.පී

7 මගිය
ධනපති ක්‍රමය අර්බුධයට...
මිනිහ ජන අරගල කාරයෙක් ඔහු කථාව නැවැත්වීමටත් පෙර මිතුරා පවසයි.

8 මගිය
යුදෙව්, ක්‍රිස්තියානි, චතුස්කෝටික,....මේක දේව ශාපයක්
මිනිහ සිංහල බෞද්ධ චින්තන කාරයෙක්

9 මගිය
කවුද ඔය මංජුල තිලකරත්න කියන්නෙ
ආන්න,.. මිනිහ නම් නියම ශ්‍රී ලාංකික පුරවැසියෙක්

ප/ලි
ඔබටත් මෙවැනි හැකියාවක් තිබීමට පුළුවන. මා කවුදැයි කීමට උත්සාහ ගැනීමෙන් ඔබට ඒ හැකියාව උරගා බලන්න.